දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව බස්නාහිර පළාතේ පළාත් සභාව වෙත පැවරී ඇති ඉඩම් බලතල ප්‍රකාරව පළාත තුළ රජයේ ඉඩම් කළමනාකරණය හා පරිපාලනය කිරීමට අදාළ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීම සඳහා බස්නාහිර පළාත්ඉ ඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ස්ථාපනය කොට ඇත.

ගම්පහ, කොළඹ, කළුතර යන දිස්ත්‍රික්ක තුනකින් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 40 කින් සමන්විත බස්නාහිර පළාත තුළ පිහිටි රජයේ ඉඩම් බැහැර කිරීමට හා බැහැර කරන ලද රජයේ ඉඩම් වල පසු කටයුතු කිරීම හා අදාළ රාජකාරි කටයුතු ඉටුකිරීමට, බැහැර කරන ලද රජයේ ඉඩම්වල බදු ආදායම් අය කිරීමට අදාළ අධීක්ෂණ කටයුතු මෙන්ම රජයේ ඉඩම්වල බදු ආදායම ප්‍රවර්ධනය කිරීමට දෙපාර්තමේන්තුවට හිමි නෛතික පරාසය තුළ ගුණාත්මකව හා කාර්යක්ෂමව ඉටු කිරීමටත්, ශ්‍රී ලංකා ජන ජීවිතයට ඉතා සංකීර්ණ මෙන්ම සංවේදී ලෙස බද්ධ වුනු ඉඩම් විශය හා අදාළ ව සේවාලාභී ජනතාව වෙතින් ඉදිරිපත් වන ඉඩම් ගැටලු, නීතිමය විධිවිධාන සහ ප්‍රායෝගිකත්වය හා මානුෂියත්වය සමඟ සමබර වෙමින් වඩාත් මහජන හිතකාමී සේවාවන් සැපයීමටත් දෙපාර්තමේන්තුව තම උපරිම දායකත්වය සපයනු ලබයි.

එසේම පළාත් සභාවට ආදායම් සපයන මූලාශ්‍ර අතර වැදගත් ආදායම් ප්‍රභවයක් වන රජයේ ඉඩම් වලින් අයවිය යුතු බදු ආදායම් අය කරගැනීමට මෙන්ම, හිඟ ආදායම් අයකර ගැනීමටත්, නව ආදායම් අවස්ථා හඳුනා ගැනීමටත්, පළාතේ ප්‍රාදේශීය ලේකම් වරුන් සමඟ එක්ව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අනුයුක්ත කරන ලද පළාත් ඉඩම් දෙපාර්තමේන්තුවේ ඉඩම් නිලධාරීන් ප්‍රමුඛ සියලු ක්ෂේත්‍ර නිලධාරීන් ට අවශ්‍ය මඟ පෙන්වීම් ලබාදෙමින්, පසුවිපරම් කරමින් පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේන් රජයට අයවිය යුතු ආදායම් ඉහළ නැංවීමට තම දායකත්වය ලබා දෙනු ලැබේ.

ප්‍රාදේශීය ලේකම් වරුන් සමඟ එක්ව ජනතාවගේ ඉඩම් ගැටලු විසදීම හා අදාළ ජංගම සේවා පැවැත්වීමේදී ද, ඉඩම් කච්චේරි පැවැත්වීමේදී ද, ඉඩම් ගැටලු හා අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ආදියේදී ද ප්‍රාදේශීය ලේකම් වරුන් වෙත තාක්ෂණික සහය ලබා දීම, දෙපාර්තමේන්තුවෙහි රජයේ ඉඩම් විෂය පිළිබඳ ප්‍රවීණ නිලධාරීන් මඟින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල නිලධාරීන්ට පුහුණු වැඩසටහන් පැවැත්වීම ආදී වශයෙන් ප්‍රාදේශීය ලේකම් වරුන්ට රජයේ ඉඩම් විෂයට අදාළව ප්‍රාදේශීය කාර්යාල මඟින් සිදුකරන මහජන සේවාව වඩාත් ගුණාත්මක ලෙස ඉටු කිරීමටත් පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මනා දායකත්වයක් ලබා දෙයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ඉහළ කාර්යක්ෂමතාව හා ගුණාත්මක බවින් යුත් සේවාවක් මහජනතාවට ලබාදීමේ ධාරිතාව වඩාත් පුලුල් කිරීම සඳහා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉඩම් අංශ සඳහා පරිගණක හා තාක්ෂණික උපාංග ඇතුලු අවශ්‍ය සෙසු පහසුකම් සැපයීම තුලින් තෘප්තිමත් මහජන සේවාවක් උදෙසා දෙපාර්තමේන්තුව සිය දායකත්වය ප්‍රශස්ත ලෙස ලබාදීමට කටයුතු කරයි. මෙම සියලු කර්තව්‍යයන් කාර්යක්ෂමව, ගුණාත්මකව මෙන්ම මානව හිතවාදී ලෙස නීත්‍යානුකූලව ඉටුකරමින්, අනාගත සංවර්ධිත ශ්‍රී ලංකාවක්, “සෞභාග්‍යමත් රටක් – ලස්සන ජීවිතයක්” සංකල්පය යථාර්ථයක් කරගනු පිනිස ප්‍රශස්ත දායකත්වය ලබාදීම අප දෙපාර්තමේන්තුවෙහි අරමුණ වේ.

රජයේ ඉඩම් වලට අදාල යටිතල පහසුකම් සැලසීම තුලින් බැහැර කරන ලද රජයේ ඉඩම් වල පදිංචි ජනතාවගේ ජීවන තත්වය වඩා යහපත් හා උසස් තත්වයට පත් කිරීමට ත්, රජයේ ඉඩම් සංවර්ධනය හා සංරක්ෂනය කිරීම තුලින් රජයේ ඉඩම් තිරසාර ලෙස පවත්වා ගැනීමටත් දෙපාර්තමේන්තුව ප්‍රමුඛ දායකත්වය ලබා දේ.

දැක්ම

තිරසාර රජයේ ඉඩම් කළමනාකරණයක් - සංවර්ධිත සෞභාග්‍යමත් රටක්

මෙහෙවර

රජයේ ඉඩම් කාර්යක්ෂම සහ පාරදෘශ්‍ය ආකාරයට බැහැර කිරීම සඳහා දායක වෙමින් සහ, රජයේ ඉඩම්වල පදිංචි ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවමින් ද, ඉඩම් සංවර්ධනය හා සංරක්ෂණය කිරීම තුළින් ද රජයේ ඉඩම් බදු ආදායම ප්‍රශස්ත අයුරින් ඉහළ නැංවීමෙන් ද, ඉඩම් කළමනාකරණයෙහි ලා නෛතික හා උපදේශනාත්මක සේවාවන් සැපයීමෙන් ද, අනාගත සංවර්ධිත රටක් වෙනුවෙන් තිරසාර ඉඩම් කළමනාකරණය සඳහා ප්‍රමුඛ දායකත්වය සැපයීම.

කාර්යයන්

1. ඉඩම් කච්චේරි සම්බන්ධ කටයුතු සිදු කිරීම.

2. ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කරන බලපත්‍ර ලබාදීමට අදාළ කටයුතු සිදු කිරීම.

3. ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නව දීමනාපත්‍ර සකස් කිරීමට අදාළ කටයුතු හා නිකුත් කරන බලපත්‍රවල පසු කටයුතුවලට අදාළ රාජකාරී කටයුතු සිදු කිරීම.

4. දීමනාපත්‍ර පසු කටයුතු කිරීමට අදාළ රාජකාරී කටයුතු සිදු කිරීම.

5. නව නියාධන සාධන පත්‍ර සැකසීමට අදාළ කටයුතු සිදු කිරීම.

6. සකස් කර ඇති නියාදන සාධන පත්‍රවලට අදාළ පසු කටයුතු සිදු කිරීම.

7. මධ්‍ය පාන්තික දීමනාපත්‍රවලට අදාළ පසු කටයුතු සිදු කිරීම.

8. රජයේ ඉඩම් දීර්ඝ කාලීන බදු මත බැහැර කිරීමට අදාළ රාජකාරී කටයුතු සිදු කිරීම.

9. වාර්ෂික බදු බලපත්‍ර නිකුත් කිරීමට අදාළ කටයුතු සිදු කිරීම.

10. නිදහස් දීමනාපත්‍ර ලබාදීමට අදාළ රාජකාරි කටයුතු සිදු කිරීම.

11. රණවිරු දීමනාපත්‍ර සැකසීමට අදාළ කටයුතු සිදු කිරීම.

12. පූජා භූමි සඳහා දීමනාපත්‍ර / ප්‍රාරම්භක බදුකර සම්බන්ධ රාජකාරී කටයුතු සිදු කිරීම.

13. සුනාමි දීමනාපත්‍ර සැකසීමට අදාළ කටයුතු සිදු කිරීම.

14. උරුමය/ හිමිකම දීමනාපත්‍ර සකස් කිරීමට අදාළ රාජකාරි ඉටු කිරිම.

15. ඉඩම් ගැටලු විසදීමට හා රජයේ ඉඩම්වල බදු අය කිරීම සම්බන්ධව ජංගම සේවා පැවැත්වීමට අදාළ කටයුතු සිදු කිරීම.

16. බස්නාහිර පළාතේ රජයේ ඉඩම් සම්බන්ධ මැනුම් කටයුතු සිදු කිරීම.

17. රජයේ දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ, පළාත් පාලන ආයතන, මණ්ඩල, අධිකාරී සඳහා රජයේ ඉඩම් පැවරීමට අදාළ රාජකාරි කටයුතු සිදු කිරීම.

18. ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ අත්පත් කටයුතුවලට අදාළව අවස්ථාවෝචිතව පැවරෙන රාජකාරී සිදු කිරීම.

19. ඉඩම් සංවර්ධනය සහ සංරක්ෂනයට හා ජනපද ලාභින්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමට අදාල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධ කටයුතු

20. බස්නාහිර පළාතේ රජයේ ඉඩම් සම්බන්ධ තොරතුරු පද්ධතිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කිරීම.

21. රජයේ ඉඩම් සම්බන්ධ මාසික ප්‍රගතිය ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත වාර්තා කිරීමේ කටයුතු සිදු කිරීම.

22. සංවර්ධන සැලැස්ම, ක්‍රියාකාරී සැලැස්ම, කාර්යය සාධන වාර්තාව සැලසීමේ කටයුතු සිදු කිරීම.